View Static Version
Loading

මන්නාරම් අතුරුදහන්වුවන්ගේ මව්වරුන්ගෙන් මිචෙල් බැචලේට ලිපියක් ! 2019. 02. 28 වන දින මන්නාරමේ අතුරුදහන් වුවන්ගේ මව්වරුන් විසින් පැවැත් වූ විරෝධතාවය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කාර්යාලයේ මහා කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ වෙත කළ ඉල්ලීම්

මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය දෙපිටින් යවමින් , එදා උදෑසන මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව අපිව පිඩාවට පත් කරමින් තිබුණි. ඒ පෙබරවාරි 28 වන දාය.

දහඩිය පෙරෙමින් තමන්ට තරම් නොවන කාය වෙහෙසක් දරාගනිමින්, සිලික් සාරිපොටෙන් යන්තමින් ඒ දැඩි පිඩාවෙන් මිදෙන්නට අසාර්ථක තැතක් දරමින් මව්වරුන් පාර දිගේ පැමිණෙමින් සිටියහ. ඒ මන්නාරමේ අතුරුදහන් වුවන්ගේ මව්වරුන්ගේ විරෝධතාවය ඇරඹියේ මන්නාරමේ සතොස ගොඩනැගිල්ල භුමියේ හමුවූ සමුහ මිනීවලට යාබද ස්ථානයකිනි. ඇතැම් විට තම දරුවන්ගේ තමන් සතුව ඇති එකම එක ජායාරූපය ලැමිනේට් කර අතේ උස්සාගෙන මේ මව්වරුන් කොතෙකුත් දුවිලි, අව්, වැසි නොතකා මහා පාරේ දරුවන් පිලිබඳ අල්ප මාත්‍ර හොඩුවාවක් දැනගන්නට ජීවිතය දිය කර හැර ඇත්දැයි අතීතය හරා අවුස්සා බලන කෙනෙකුට දැකිය හැකිය.

මෙරට ඉතිහාසයේ දීර්ඝතම උපවාසය ලෙස අතුරුදහන් වුවන්ගේ මව්වරුන් විසින් පවත්වාගෙන යන උපවාසයන් හැදින්විය හැකිය. ජනපතිවරයා , අගමැතිවරයාගේ සිට පතෝල හා බණ්ඩක්කා කතා පමණක් වගකිව යුත්තන්ගේ මේ මව්වරුන්ට දිගින් දිගටම ලැබෙමින් තිබේ. අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ස්ථාපිත කොට වසරක් දැන් ගෙවී ගොස් තිබේ. එහෙත් බහුතරයක් මව්වරුන්ට ඒ සම්බන්ධව ඇත්තේ සෘණාත්මක අකාල්පයකි. පසුගිය කාලය පුරා විවිධ කොමිසන් සභා පත් කිරීමෙන් කිසිදු විසදුමක් සිදු නොවීම නිසාම මේ මව්වරුන් බැට කන ලද අතීතයෙන් ලත් අත්දැකීම් මත අතුරුදහන් වුවන්ගේ කාර්යාලය මත ද කිසිදු විශ්වාසයක් තබන්නේ නැත.

කෙසේවෙතත් පසුගිය පෙබවරවාරි 25 වනදා ඇරඹි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේ පළමු සතියේ අවසන් දිනය වී තිබුනේ 28 වනදාය. මේ වනවිට පැවැත්වෙමින් තිබෙන 40 වන සැසි වාරයේදී සිරිසේන ජනපතිවරයා හා වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 2015 වසරේදී සම්මත කරගන්නා ලද A/ HRC/RES/ 30/1 දරණ මානව හිමිකම් සම්බන්ධ යෝජනා සම්මුතිය සම්බන්ධව ලංකා ආණ්ඩුව හෝ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලය මෙවර දක්වන ප්‍රතිචාරයන් සම්බන්ධව තවමත් ඇත්තේ නොනිල ආරංචි මාර්ග හා අනුමානයන් පමණි

එහෙත් සිරිසේන ජනපතිවරයා මිට පෙර තමන් විසින්ම එකඟ වූ මේ ක්‍රියාවලියෙන් රට ඉවත්කර ගන්නට තමන් ක්‍රියා කරනවා යයි කට මැත දොඩවා තිබුණි. පැණි කා චුන් වෙන දිව දෙකේ මිනිහෙකු බවට පත්ව ඇති මේ ජනපතිවරයාගේ ඇත්ත කෙරුවාව බලාගන්නට තව නොබෝ දිනකින් හැකිය. අනික් අතට ප්‍රජාතන්ත්‍රවාදයේ බාප්පොච්චි තමන් යයි සිතා සිටින දැන් දැන් කොහොමත් අමන කතා කියමින් සිටින වික්‍රමසිංහ අගමැතිවරයාද ආතල් කතාවක් කියා තිබුණේ ඒ අතරය. “අපෙනුත් වැරදි වුණා, එයාලගෙනුත් වැරදි වුණා. අපි දෙදොගොල්ලෝ මේක අමතක කරලා සමාව දෙමු. අපි අමතක කරලා දාමු ”යනුවෙනි. ඒ කතාව කරන්නට තිබුණේ බබාලන්තයකටය . අමතක කිරීම හා සමාව දීම හොඳය. එහෙත් අභ්‍යන්තර යුක්තිය හෝ සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ තම වගවීම සහමුලින්ම අතහැර දැමු ආණ්ඩුවක් හා එය මගහැර යන්නට හැකි සෑම දහන් ගැටයක්ම දමමින් සිටින ආණ්ඩුවක් අවම වශයෙන් අතීසාරයට අබුඩ ගසන කතා කීමෙන් වත් වැළකිය යුතුය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය පසුගිය කාලය පුරා තමන් එකඟ වූ මානව හිමිකම් යෝජනා වලින් ක්‍රියාත්මක කිරීමෙහිලා දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරයන් හමුවේ අතුරුදහන් වුවන්ගේ මව්වරුන් දැඩිව කියා සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත තව දුරටත් මේ වෙනුවෙන් ලබා දී ඇති කාලය දීර්ඝ නොකරන ලෙසය. එමගින් තව දුරටත් මේ ආණ්ඩුව කල් මැරීමක් සිදු කරන බවට ඔවුහු චෝදනා කරති.

“UN Do you believe that the Sri Lanka Government will meet out justice to the Tamils even after seeing the Mass Grave in Mannar”

යනුවෙන් වන පුවරු ඒ අතර තිබුණි. අනෙක් අතට මන්නාරම සමුහ මිනි වලෙහි කැණීම් කටයුතු සිදුවන්නේ අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහයෙනි. කෙසේවෙතත් මව්වරුන් ඉහත කි ලෙසම විරෝධතාවයේදී ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කිරීම් කරන ලද අතර විරෝධතාවය අවසානයේ දී ඔවුන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කාර්යාලයේ මහා කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ (Michelle Bachelet ) වෙත ජිනීවා 40 වන සැසි වාරයේදී තම ගැටලුව පිළිබඳ කාරණය මතු කරන ලෙස ඉල්ලීමක් ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලදී.

71 කැරැල්ලේ සිටම ශ්‍රී ලංකාව රාජ්‍යක් ලෙස අතුරුදහන් කරවීම් වෙනුවෙන් වගකිව යුතු පාර්ශව වෙනුවෙන් දණ්ඩ මුක්තිය නිමා නොකරමින් සිටින තත්වය ලිපියෙහි විස්තර කරන අතර ශ්‍රී ලංකා හමුදාවන් විසින් උපක්‍රම ශිලිව ආයුධ සන්නද්ධ අරගලය අවසානයේ දී භාරයට ගන්නා තම දරුවන් නිදහස් කරන බවට පොරොන්දු වීම නිසාම තමන් විසින් හමුදාවට භාර කරන ලද තම දරුවන්ට සිදු වුයේ කුමක්ද යන්න තවමත් නොදන්නා බවත්, අතීත ක්‍රියාවලින් හා සසදා බැලීමේදී හා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ස්ථාපිත කරලීමේ පනත අධ්‍යනය කිරීමේදී තම ගැටලු වලට සාධාරණ විසදුමක් ලැබෙතැයි තමන්ට කිසදු විශ්වාසයක් නැතැයි මෙහි සඳහන් කොට තිබේ.

විශේෂයන්ම සිරිසේන ජනපතිවරයා විසින් 2017 ජුනි 12 වන දින තමන් සමඟ පැවති රැස්වීමකදී තමන් වෙත ලබා දුන් පහත පොරොන්දු පිලිබඳ ඔවුහු ලිපියේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

එනම්

1. යටත් වුවන්ගේ නාම ලේඛනය නිදහස් කිරීම

2. රැඳවියන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේ නාම ලේඛනය නිදහස් කිරීම

3. රහසිගත රැඳවුම් කඳවුරු පිලිබඳ නාම ලේඛනය

4. මිට පෙරාතුව අතුරුදහන් වීම් සම්බන්ධව විමර්ශනය කරන ලද කොමිසම් හි වාර්තා ලබාදීම.

ශ්‍රී ලංකා රජය සේම දෙමළ ජාතික දේශපාලන නියෝජිතයන්ගේ අසමත්කම් හා අප වෙත නිරන්තරයෙන් ලබා දෙන ලද බොරු පොරොන්දු නිසා හෙම්බත්ව සිටින පවුල් විසින් නිරන්තරයෙන්ම විරෝධතා පවත්වන බවත්, දේශීය හා ජාත්‍යන්තරය වෙත නිරන්තරයෙන් පෙත්සම් ලියන බවත්, වසර 10 ක් පුරා හැකි සෑම හමුදා කඳවුරකටම හා පොලිස් ස්ථානයකටම ගොස් තම දරුවන් හා සමීපතමයින් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගන්නට වෙහෙස වූ බවත්, වසර 10 ක් පුරා උදේ,දිවා, රෑ තමන්ගේ මනසේ වද දෙන පිළිතුරක් නොමැති ප්‍රශ්න ඉතුරු කොට ඇති බවත්ය.

1. අපේ ඥාතීන් කොහෙද ?

2. අපේ දරුවන්ට මොකක්ද සිද්ධ වුනේ?

3. යටත් වුවන්ට සිද්ධ වුනේ මොකක්ද?

4. අපි ඔබට භාර දුන්න ඥාතීන්ට මොකක්ද සිද්ධ වුනේ ?

වැඩි දුරටත් සමුහ මිනිවල් සම්බන්ධයෙන් ද එහි සඳහන් කරමින් කියා ඇත්තේ දැනට මන්නාරමෙන් සමුහ මිනිවල්වල් 2 ක් සොයා ගෙන ඇති බවත්, එනම් තිරුකෙශ්වරම් සමුහ මිනීවල සහ මන්නාරම් නගර මධ්‍යයේ හමුවී ඇති සමුහ මිනීවල බවත්, මෑතකදී සොයාගත් නගර මධ්‍යයේ පිහිටි සමුහ මිනිවලෙන් සිරුරු 300 ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවත්, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ සිරුරු 23 ක් ද එයට අන්තර්ගත බවයි. ඇතැම් ඒවා බැඳ දමා, එකමත එක ගොඩගසා දමා ඇති බවත් , කිහිපයක තුවාල සහිත බවත් එහි සඳහන් කොට තිබේ. 1994 සිට උතුරේ සහ නැගෙනහිර සමුහ මිනීවළවල් විටින් විට හමු වී ඇතත් ඒවා කිසි එකකට වගවීමක් මෙතක් සිදු වී නොමැති බව මේ ලිපියේ සඳහන් කොට තිබේ. මන්නාරම් දුපත් දීර්ඝ කාලයක් පුරා හමුදා ග්‍රහණයේ පැවති ප්‍රදේශයක් වීම හේතු කොට ගෙන, ඔවුන්ගේ අනුදැනුම නොමැතිව මෙවන් දෙයක් සිදු විය නොහැකි බව ජනතාවගේ මතය බව එහි දක්වා තිබේ.

එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව අරභයා නොයෙකුත් යෝජනා සම්මත කොට ගෙන තිබෙන අතර, ඒවා නිසි අයුරින් සිදු වී ඇත්දැයි සොයා බැලීම සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම කලයුතු බවත් විශේෂයන්ම 2015 සම්මත කරගත් 2009 යුද්ධය අවසන් කාල පරාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් කළා යයි සැකකෙරෙන යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි වැරදි සහ මානුෂිය නීතිය උල්ලංඝණය කිරීමට අදාළව 30/1 සම්මතය නිසි ආකාරව ඉටු නොකිරිම හේතුවෙන් , ඒ සඳහා කාලය දීර්ඝ කරමින් 2017 වසරේදී ඒකමතිකව සම්මත කරගත් 34/1 සම්මතයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන මෙන් ඉල්ලා තිබේ.

එහිදී මානව හිමිකම් කවුන්සීලය විසින් ඒ සඳහා වසර 2ක දීර්ඝ කිරීමක් ලබා දෙන ලදි. එහි වූ මුලිකම කරුණක් වන්නේ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් හා නඩු පවරන්නන්ගෙන් සැදුම් ලත් දෙමුහුන් අධිකරණයක් ලබා දීම යන්නයි. වසර 2ක් අවසාන වී ඇතත් ඒ සම්බන්ධ කිසිදු පියවරක් හෝ වගවීමක් සිදු කොට නොතිබෙන අතර දිගින් දිගටම තම අයිතිවාසිකම් රාජ්‍ය විසින් උල්ලංඝණය කරමින් සිටින බව ඔවුහු අවධාරණය කොට තිබේ.

ඒ අනුව ලිපියේ අවසානයේ පහත සඳහන් ඉල්ලීම් ඔවුන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කාර්යාලයේ මහා කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ වෙත කොට තිබේ.

1. දේශීය විමර්ශන යාන්ත්‍රණයක් අපි තරයේම ප්‍රතික්ෂේප කරමු.

2. අතුරුදහන් වුවන්ගේ කාර්යාලය අපි පිළිනොගනිමු.

3. රැඳවියන්ගේ නාම ලේඛනය නිදහස් කරන්න.

5. යටත් වුවන්ගේ නාම ලේඛනය නිදහස් කරන්න.

4. බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද අපේ ඥාතීන්ට සිද්ධ වුයේ කුමක්දයි අපිට කියන්න.

5. ජාත්‍යන්තර අපරාධ අධිකරණ වෙත ශ්‍රී ලංකාව යොමු කරන්න

6. ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත තව දුරටත් කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන්න යනුවෙන් එහි මන්නාරම් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ මව්වරුන් විසින් සඳහන් කොට තිබේ.

යොමු කරන ලද ලිපියේ ඉංග්‍රීසි පිටපත

මේ යෝජනා, ඉල්ලීම් මෙසේ ඉදිරිපත් වෙමින් තිබියදී, 40 වන සැසි වාරයේ තීරණය වෙනුවෙන් තවදුරටත් අපිට බලාසිටීමට සිදු වන අතර, කාලය දීර්ඝ කිරීම/ නොකිරීම හා දේශීය යාන්ත්‍රණයක් තිබිම/ නොතිබීම අතර මතව්වාදීමය ගැටීම් මේ කතිකාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා විය යුතු කරුණු අතර වෙතැයි මගේ පෞද්ගලික හැඟීම වේ.

අනෙක් අතට අප මේ ගෙවමින් සිටින්නේ ජන්ද පිරි වසරක සංක්‍රාන්ති සමය බව මේ සියල්ලටම පෙර අපි මතක් තබා ගත යුතු වෙමු. එහි දිශානතිය තවදුරටත් මේ අහිංසක සිවිල් ජනයාගේ ගැටලුව වාවා ගෙන කෑමට හෝ බොරකොට හොදි හැදීමට ගන්නට බැරි කමක් නැත.කෙසේවෙතත් යුක්තිය තීරණය හෝ නොකිරීම සද් චේතනාවෙන් මේ ආණ්ඩුවෙන් නොවන බව නම් සියයට දාහක් දැන් ඔප්පු වී හමාරය

Created By
Ishara Danasekara
Appreciate
NextPrevious

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.