රාමදාන් | RAMADAN FAQ
රාමදාන් කාලය තුළදී නිරාහාරව සිටීම මුස්ලිම්වරුනට අනිවාර්ය වූයේ කෙසේද?
පි. කුරාණය ලෙස පසුකලෙක සම්පාදනය කෙරුණු, දෙවියන් වහන්සේ විසින් මුහමද් නබිතුමා හට කෙරුනු ලැබූ එළිදරව්ව සිදුවන්නේ 610වන වසරේදී රාමදාන් කාලය තුළදීය. එහෙත් 624 වන වර්ෂය දක්වා මුස්ලිම්වරුනට රාමදාන් කාලයේ නිරාහාරව සිටීම ආගමිකව අනිවාර්ය වී නොතිබුනි. නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත.
‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන් හට නිර්දේශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම සඳහාය. රාමදාන් කාලය (මාසය) මනුෂ්‍යයා වෙත කුරානය හරහා ලබා දෙනු ලැබූයේ මනුෂ්‍ය වර්ගයාට කෙරෙන මග පෙන්වීමක් ලෙසත්, පැහැදිලි සංඥා, මග පෙන්වීම් හා විනිශ්චයන් (හරි සහ වැරදි අතර) ලෙසත්ය. මේ නිසා එම මනුෂ්‍යාගේ නිවසේ රැදී සිටිනා නුඹලා සියලුම දෙනා එම මාසය තුළදී නිරාහාර කාලයන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතුය‘ - කුරානය, දෙවැනි පරිච්ඡේදය, පෙල 183 – 185
නිරාහාරව සිටීමෙන් තමා ලබා ගන්නා දේ පිළිබඳව මුස්ලිම්වරුනගේ විශ්වාසය කුමක්ද?
පි: රාමදාන් මගින් ලැබෙන එක් සුවිශේෂී වාසියක් වන්නේ ජීවිතයේ අත්‍යාවශ්‍ය දේ පිළිබඳව හිඟයන් සහිතව ඉන්නා අය කෙරෙහි දයාවන්ත බව වැඩිවීම, තමා තුළ සිදුවන පවිත්‍රත්වය පිළිබඳව හැඟීමක් ඇතිවීම සහ ආත්මීයත්වය කෙරෙහිවන නැඹුරුව අලුත්වීම හා ඒ දෙස නැවත හැරී බැලීමක් සිදුවීමයි.
ඊට අමතරව, මේ මාසය පුරාම තම පවුලේ සාමාජිකයන් හා හිතමිත්‍රාදීන් සමඟ එක්වීම යන කාරණය මුස්ලිම්වරුන් අතර ඇගයීමට ලක්වේ.
ඔවුන් ලබාගන්නා අගනාම ප්‍රායෝගික වාසිය වන්නේ වසරක් පාසා ලබාගන්නා ආත්ම පාලනය හා ශික්ෂණය විය හැක. මන්ද, එය ඉන් පසුව වැඩි දුරටත් සිදුවන අධ්‍යාපනය, රැකියාව වැනි ජීවිතයේ සියලුම ක්‍රියාකාරකම්හි දී කොටස් කරුවකු වන හෙයිනි.
හැම අවුරුද්දකම වෙනස් දිනයන් හී දී රාමදාන් ආරම්භ වන්නේ ඇයි?
පි: රාමදාන් යනු නව සදේ සිට ඊලඟ සඳ දක්වා කාලයකි. සෑම අවුරුද්දකම එය ඇරඹෙන්නේ පසුගිය වසරට වඩා දින 11ක කාලයකට පෙරය.
මුස්ලිම්වරයෙකුගේ ජීවිත කාලය පුරා කෙටි දිනයන් සහිත සිසිර ඍතුවේදී ද, දිගු හා නිරාහාරයෙන් විඩාපත්වන දිනයන් සහිත ග්‍රීස්ම ඍතුවේ දී ද රාමදාන් එළඹේ. මේ ආකාරයට උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්හි ජීවත්වන සියලුම මුස්ලිම්වරුනට නිරාහාර කාල සීමාවේ දුෂ්කර ඍතූන් එක හා සමානව ගෙවීමට සිදුවේ.
LAYLATUL-QADRයනු කුමක්ද?
පි: ලයිලට් උල් කදර් (බලයේ රාත්‍රිය) ලෙස හඳුන්වන්නේ ගාබ්රියෙල් දේවදූතයා හරහා මුහමද් නබිතුමා දෙවියන්ගෙන් එළිදරව්ව ලැබීමට පටන් ගත් ප්‍රථම රාත්‍රිය සැමරීමේ සනිටුහනයි. කුරානයේ සම්පූර්ණ පරිච්ඡේදයක මේ රාත්‍රිය පිළිබඳව විස්තර කෙරේ.
‘බලයේ රාත්‍රියේදී ඇත්ත වශයෙන්ම අප මෙම පණිවිඩය එළිදරව් කෙළෙමු. බලයේ රාත්‍රිය ලෙස අප නුඹට විස්තර කරන්නේ කුමක් විය හැකිද? බලයේ රාත්‍රිය මාසයන් දහසකට වඩා යහපත් වන්නේය. මේ දිනයේදී දෙවියන්ගේ කැමැත්ත ලෙස දේවදූතයන් හා ශුද්ධත්වය පණිවිඩයන් සමඟ පැමිණේ. සාමය වේවා! ඒ උදය වන තෙක්ය ‘. (පරිච්ඡේදය 97) මුස්ලිම්වරුනගේ විශ්වාසයට අනුව ලයිලාත් උල් කද්ර් එලැඹෙන්නේ රාමදාන් මාසයේ අවසාන ඔත්තේ දිනයන්ගෙන් එකකය.
රාමදාන් කාලයේ සාමාන්‍යයෙන් බර අඩුවීමක් සිදුවේද?
පි: සමහරුන්ගේ බර අඩුවීමක් විය හැකියි, එහෙත් ඒ සියලු දෙනාගේ නොවේ. රාමදාන් කාලයේ සැහැල්ලු කෑමක් සදහා උපදෙස් ලැබී තිබුනද බොහෝ දෙනෙකුට රාමදාන් සමඟ එන රසකැවිලි සහ විශේෂ කෑම වර්ග රස නොබලා සිටීමට නොහැකිය.
Web: vikalpa.org | Facebook: Vikalpasrilanka | Tweeter: vikalpavoices | Instagram: vikalpasl