2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ආස්ථානයන් හි සුවිශේෂි වෙනස්කම් රැසක් සටහන් කරමින් වීම විශේෂත්වයකි.
යුද්ධය අවසන් වී 2019 වසරට වසර 10 කි. එය සුවිශේෂී සන්ධිස්ථානයකි. එහෙත් 250 කට අධික පිරිසක් මිය ගිය, අප්‍රේල් මස 21 වන දින කතෝලික පල්ලි සහ සංචාරක හෝටල් කේන්ද්‍ර කොටගෙන, ඉස්ලාමිය අන්තවාදීන් විසින් එල්ල කරන ලද ඛේදජනක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ශ්‍රී ලංකාව නැවත උඩු යටිකුරු කිරීමට සමත් විය. ඉන් අනතුරුව මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් වූ ප්රචණ්ඩත්වය, රාජ්‍ය අනාරක්ෂිතභාවය පිලිබඳ පොදු මහජනතාව තුළ ඇතිව ගිය සහ ඇති කරන ලද බිය හරහා පශ්චාත් යුධමය මානසිකත්වය නැවත ක්ෂණයෙන් මිලිටරිමය ආධිපත්‍යකට පෙරළිණි. ඒ හරහා ආගම , ජනවර්ගය, ජාතිකත්වය සම්බන්ධ දරුණු බෙදීමකට සමාජය ලක් වීමේ අවධානම ඇති වී තිබේ."සිංහල බෞද්ධ ඡන්ද පදනම" නමැති ආවේගය එහි ඉහලින්ම තිබෙන්නකි.
අනෙක් අතට 2015 වසරේ වසර 10 ක් පුරා පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම පළමු ධූර කාලය අවසානයේ ජනාධිපති ධුරයක් සඳහා තරග නොකරම විශ්‍රාම ගැනීමත්, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ හිටපු පස්වන විධායක ජනාධිපතිගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමත්, යහපාලන සන්ධාන ආණ්ඩුව බිඳ වැටීමත් ඒ හා බැඳී දේශපාලන ලෝකය උඩු යටිකුරු කරමින් වසරේ අවසාන කාර්තුව උණුසුම් කළේ එළඹෙන 2020 වසර මැතිවරණ වසරක් බවට පත් කරමිනි.
2020 වසර එළඹෙන්නේ එක් දශකයක නිමාව ද සටහන් කරමිනි. 2007 වසරේදී පුරවැසි මාධ්‍ය සංකල්පය මුලික කොටගෙන,සිංහල භාෂාවෙන් ඩිජිටල් අවකාශයට 'විකල්ප වෙබ් අඩවිය' එකතු වී දැන් වසර 12ක් ගෙවී අවසන්ය.පසුගිය කාලය පුරා ද විතැන්ව ගිය හඬක් නොමැති පුරවැසියාගේ හඬ ජනගත කිරීමත්, ඒවා සොයා හාරා පාදා සමාජය වෙත අනාවරණය කිරීමටත්, අසීරුම මොහොතේදීත් යුක්තිය, සාධාරණත්වය සහ සමාජ පොදු යහපත උදෙසා සිට ගැනීමත් අප කිසිදු මොහොතක අත් නොහැර කළ ඇත්තෙමු. එළඹෙන වසර අභියෝගාත්මක එකක් වනු නොඅනුමානය. එහෙත් පුරවැසියන් සමඟ සිටිමින් පුරවැසියන් සමඟ කෙරෙන එකම සංවාදය සහ පොදු මහජනයා වෙනුවෙන් වන අපගේ සමාජ සටන අතනොහැර සිටින බව මෙහිලා තරයේ සටහන් කරන්නේ 2019 වසරේ මතක යළි දු ආවර්ජනය පන්නරය කොට ගනිමිනි.
අප ඔබ වෙත මේ වසර පුරා වාර්තා කරන ලද සුවිශේෂී සිදුවීම් , අනාවරණයන්,ඡායාරූප සටහන් හා අප සාමාජිය ලෙස ඉටු කළ මැදිහත් වීම්, අභියෝග අළලා සකස් කරන ලද #YearInReview2019 සාරාංශ සටහනක පෙළගැස්මක් මෙසේ ඔබ හමුවේ තබමු. ඒ ගල්,මුල් සේම පාඨක ඔබගේ දිරි ගැන්වීම් ද මේ කටුක මාවත වසර 12 ක් අප රැගෙන හා ශක්තිය බව ආදරයෙන් මතක් කරමිනි.
#YearInReview2019
2018 වසරේ ජනවාරි මස 30 සහ 31 වන කොළඹින් අප ආරම්භ කළ , විකල්ප වෙබ්වි අඩවිය වීසින් වසර 10 ක් පුරා ගන්නා ලද ජායාරූප අළලා සැකසු පශ්චාත් යුධ ශ්‍රී ලංකාව : ජීවිතය හා යුක්තිය වෙනුවෙන් වූ #UNFRAMED ජායාරූප ප්‍රදර්ශනයට වසරක් සපිරී මොහොතේදී එහි හයවන පියවර සහ අවසාන ප්‍රාදේශීය ප්‍රදර්ශනය ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2019 ජනවාරි මස 23 සහ 24 දින අති සාර්ථක ලෙස පැවැත්වූවෙමු.විශේෂයෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 16 සිට 18 දක්වා ‘මාගේ දේශය අවදිකරනු මැන’ 2108 ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ පුර්ණ සංවිධාන ශක්තියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සිසුන් පිරිසකගේ විරෝධය මත වාරණයට ලක් වූ අතර ඉන් පසු පවත්වනු ලැබූ පළමු ප්‍රදර්ශනය මෙය වේ.
ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ ( NCDF) සංවිධාන ශක්තියෙන් පවත්වන ලද මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල ජනකායක් දින දෙක පුරාම ත්‍රිකුණාමල නගර ශාලාවට රැස්වී සිටීම සුවිශේෂී ලෙස සටහන් කළ යුත්තකි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ලෙස සියලුම ජන කොටස් නියෝජනය කරමින් පැමිණි පිරිස අතර පාසල් ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, රජයේ නිලධාරින්, ගුරුවරුන්, තරුණ තරුණයින්, සමාජ ක්‍රියාකාරීන්, ජායාරූපශිලිපින්, මාධ්‍යවේදීන්, කාන්තා ක්‍රියාකාරීන්, ධිවර ප්‍රජාව, දෙමාපියන් මෙන්ම යුද්ධයේ සෘජු වින්දිතයින් බවට පත්වුවන් ඇතුළු බොහෝ දෙනෙක් මෙවර ප්‍රදර්ශනයේදී දැක ගත හැකිවිය.
සම්පුර්ණ සටහන : “ජනතාව බල ගැන්වීම හැර වෙනත් විකල්පයක් නොමැත, ඔබේ මෙහෙවරට ආචාරය” #UNFRAMED ජායාරූප ප්‍රදර්ශනයට ත්‍රිකුණාමලයේදී නොමද පැසසුම්
කොළඹ අධිආරක්ෂක කලාපයක දී 2010 ජනවාරි 08 වන දින ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. ඉන් වසර 10 කට පසු ලසන්ත වික්රමතුංගගේ දේහය මිහිදන් කර ඇති බොරැල්ල සුසාන භූමියට ලසන්තගේ ඥාතීන්, හිතමිතුරුන්, මාධ්‍ය මිතුරන් සහ ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් එක්ව සිටියේ ලසන්ත ව සිහි කරනු පිණිසය.
සිහිකිරීම් යනු ලෝකෝත්තර දෙයකි. ඕනෑම අයෙක්ට ඇග රිදවා ගන්නේ නැතිව ඒවාට සහභාගී විය හැකිය. පහනක්, ඉටි පන්දමක් දල්වා මිය ගිය අයට ‘සුවය’ ප්‍රාර්ථනා කළ හැකිය. එය වැදගත්ය. නමුත් ඉතා අමාණුෂික ලෙස මහ දවල්, අධිආරක්ෂක කළාපයක් තුළ ඝාතනය කළ ලසන්තගේ ඝාතකයන් සෙවීම සහ ලසන්තට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් එතැනට කී දෙනෙක්(විශේෂයෙන් ඇතැම් දේශපාලකයින්) පැමිණ සිටියේ දැයි දන්නේ ඔවුනොවුන් පමණි. ලසන්තට යුක්තිය ඉටු කිරීම අරඹයා, ඔහුගේ නීතිඥ අතුල එස්. රනගල මහතා එදින කියූ කතාව අද නැවත සඳහන් කර තැබීම අනිවාර්යයක් වන්නේ මේ ඝාතන සිද්ධිය සේම ඝාතනය කරන ලද, අතුරුදහන් කරවන ලද, පහර දෙන ලද හෝ පහර කෑමට ලක් වූ අනෙකුත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන හෝ යුක්තිය ඉටු වීම සිදුවේද යන්න ප්‍රශ්න නැගෙන මොහොතක් අප පසු කරමින් සිටින නිසාමය.
සම්පුර්ණ සටහන : ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ‘යුක්තිය’ නැතිව වසර 10කට පසු..
‘ඔතන ලිප පත්තු කරන්න එපා, පොලිස් ට්‍රක් එක තියනවා’ යැයි දහවල් ආහාර පිසීමට එම ස්ත්‍රීන් සූදානම් වන විට පොලීසියේ නිළධාරියෙක් කීවේය.‘අනේ මහත්තයෝ ට්‍රක් එක පොඩ්ඩක් පස්සට ගන්න එතකොට හරි නේ’ ස්ත්‍රියක් ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.
ලේ වැකි යුද්ධයේ 2008 වසරේ දී කේප්පාපිලව් මිනිසුන් සිය ඉඩම්වලින් පළා ගියේ යුද්ධයේ පීඩනය දරා ගත නොහැකිව සිය ඇදිවත පමණක් සමගය. ඉන් පසුව හෙක්ටායර 202 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාව විසින් ‘යුද්ධය’ මුවාවෙන් අත්පත් කර ගත්තේ කේප්පාපිලව් මිනිසුන් සරණාගත කදවුරු තුළට ගාල් කරන අතරතුරය. විශේෂයෙන් 2009 දී යුද්ධය මිලිටරි ලෙස අවසන් කිරීමෙන් පසු කේප්පාපිලව් මිනිසුන් මැණික් ෆාම් නමින් ප්‍රසිද්ධ අනාථ කදවුර වෙත ගෙන යන ලද අතර ඔවුන් එහි වසර ගණනාවක් රදවා තැබිණි. 2012 වසරේදී මැණික් ෆාම් වසා සරණාගත කදවුර වසා දැමුණු අතර, එම කඳවුරේ ඉතිරිව සිටි 560 ක් වූ කෙපාපිලව් ඉඩම් හිමි මිනිසුන් සෝරිපුරම් හි පිහිටි කැලෑබද ප්‍රදේශයක නැවත පදිංචි කරන ලද්දේ අවම පහසුකම්වත් නොමැතිවය.
කෙප්පාපිලව් පාරම්පරික ඉඩම් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු කළ ඔවුන් අඛණ්ඩ උපවාස ක්‍රියාවලියකට එළඹුණු අතර එයුනුත් දින 700කට ආසන්න කාලයක් අව් වැසි නොතකා සාමාකාමී විරෝධයක නිරතව සිටි කේප්පාපිලව් ස්ත්‍රීන් පසුගිය ජනවාරි 26වනදා සිය විරෝධතා ස්ථානය වෙනස් කරමින් සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හමුදා කදවුර ඉදිරිපිට සිය විරෝධතාවය ඇරඹීමට තවත් කිලෝමීටර 2කක් හමුදා කදවුරු ගේට්ටුව දෙසට ගමන් කරමින් විරෝධය දැක්විමත් සිදුවිය.
සම්පුර්ණ සටහන : ධෛර්යවන්ත ස්ත්රීන්ගේ නොසිදෙන කැපවීමෙන් යළි යළිත් මුවහත්වන කේප්පාපිලව් ඉඩම් අරගලය (VIDEO)
විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී සංවිධාන, මානව හිමිකම් , ළමා අයිතිවාසිකම්, කාන්තා හා ආන්තික ප්රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇතුලු පාර්ශව 19 ක දායකත්වයෙන් නිම කරන ලද “සමාජ මාධ්‍යය ප්රකාශනය : කොළඹ 2019 ” අතිසාර්ථක අයුරින් පසුගිය මාර්තු 19 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ පරිශ්‍රයේ, ජෙස්මින් ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විය.
ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, විශේෂයන්ම මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය පරිශිලකයින් වෙත යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම උදෙසා සකස් කරන ලද මග පෙන්වීම් මාලාවක්, සමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුව, සමාජ මාධ්‍යය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් මෙම සමාජ මාධ්‍යය ප්රකාශනය තුළ අන්තර් ගත කොට තිබේ. “සමාජ මාධ්‍යය ප්රකාශනය : කොළඹ 2019 ” අදහස් පළ කිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලංඝනීය වැදගත්කම හඳුනා ගැනීමට දරන ප්රයත්නයකි. එය වඩා සංවිධිතව ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා මේ වසරේදී යාපනය, වව්නියාව, බණ්ඩාරවෙල, කොළඹ, මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ ගිරිතලේ යන නගර කේන්ද්‍ර කර ගනිමින් වැඩමුළු මාලාවක් විකල්ප වෙබ් අඩවිය විසින් සංවිධානය කරන ලදී.
සම්පුර්ණ සටහන : සමාජ මාධ්‍යය ප්රකාශනය : කොළඹ 2019 එළිදකී!
“ළමයි කෑ ගැහුවා ඒ වෙලේ, මට ළමයින්ගේ සද්දේ තමයි දැනුත් ඇහෙන්නේ මගේ කනට” “මං ටීෂර්ට් තුනක් මාරු කළා එදා…”
අප්‍රේල් 21 වන දින උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ගණනින් 250 කට වැඩි ඒ ජිවිත ගැන ලියා අවසන් කළ නොහැකිය. ඊට මසකට පෙර මේ රටේ ජීවිතය හා ඉන් පසු ජීවිතය සම්පුර්ණයෙන්ම දෙකකි. අපට අපේ ආදරණියන් අහිමි වී තිබේ. අපට අපේ නිදහස අහිමි වී තිබේ. අපට අපේ මිත්‍රත්වයන් අහිමි වී තිබේ. කණපිට හැරි ගිය ජිවිත දිනෙන් දින මුණ ගැසෙමින් තිබේ. ජීවිතය අනියත බව හැබෑවකි. එහෙත් නැවත අප ජිවිත කාලය තුළ නැවත නැවත මිනිසුන්ගේ ජිවිත හරා පාදමින් මෙලෙස අපට ඇවිද යන්නට වේ යයි අප සිතුවේ නැත.ඊටත් වඩා පවතී ආණ්ඩුව විසින් ඒ වෙත දැරූ ඇල්මැරුණු වගවීම සහ වගකීම අදටද ගැටලුවකි.
සම්පුර්ණ ඡායාරූප සටහන : සුන් බුන් වැ ගිය ජිවිත අතර ඇවිද ගියෙමි
2019 මැයි 18 යනු, වසර 30 ක් පුරා පැවති යුද්ධය අවසන් කළ බවට නිල නිවේදනය කොට වසර 10 ක් ගත වූ දිනයය . එක පසෙක වෙනදාට පිසෙන කිරිබත් ය, තව පසෙකට කදුළු බි නිවා ගන්නා දුක් ගිනිද එකවර ඇපයට කිසිවිටෙක් තවමත් මුණගැහෙන්නේ නැත. මුල්ලිවයික්කාල් යනු දෙපිරිසකට දෙවිදියකට දැනෙන දෙයක් වී ඇත්තේ එහෙයිනි. ඒ ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය ඒ වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් එහි තිබුණත් අමතක කළ නොහැකි ලෙස ඉතිහාසය අපිට උරුම කොට ඇති දී ලේ විල් වෙනුවෙන් මිනිසුන්ගේ සුසුම් වා තලයට එහි සෑම වසරකදිම මුසුවෙමින් තිබේ. අප කැමරාව තුළ සටහන් කර ගත නොහැකි වූවෝ බොහෝය. ඒ හොරෙන් මුමුණන්නෝය. හොරැහින් දෑස් පිසදමන්නෝ ය. එහෙත් මේ පපු පුරා කැකෑරෙන ගිනි දැල් මහපොළොවට හැංගිය හැකිද? උතුරටත් දකුණටත් නැති වුයේ මිනිසුන් මිස වෙන කවුරුන්ද ? වසර 10 කට පසුත් ඒ භූමිය ගිනිගහන අව්වේ කදුළු වලින් රත් වී තිබෙනු අපි දුටුවෙමු. ඒවාට ජාතියක්, භාෂාවක් හෝ ආගමක් තිබුණේ නැත.
"පොලිසියෙන් හිටියා, ඒ වුනාට ඒගොල්ලෝ මේ බලාගෙන හිටියා,එයාල කිව්වා අපිට ඔයාලා කොහොමහරි ගිහින් ආරක්ෂා වෙන්න කියලා, එලියට බහින්ඩ එපා ගේ ඇතුලටම වෙලා ඉන්ඩ කියලා"
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් දින 22 කට පසු මැයි මස 13 වන දින, මිනුවන්ගොඩ සහ කුරුණෑගල ප්‍රදේශ ආශ්‍රිතව මුසලීම් වරුන්ගේ දේපල වලට හානි කිරීමට සිංහල ජාතිවාදී මැර කල්ලි විසින් සමත් වූ අතර ඇඳිරි නිතිය හා හ්පොලිස් ආරක්ෂාවද , ඇතැම් තැන්වල හමුදා හා විශේෂ කාර්ය බලකා ආරක්ෂාවද තිබියදී පවා ගිනිතැබීම්, කොල්ලකෑම් සහ දේපල විනාශ කිරීම් සිදු වූ අතර එහිදී එක පුද්ගල මරණයක් වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් මුලික ලෙසම මේ ජනතාව සමඟ කළ සාකච්ජා වලදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් කෙරෙහි වූ මේ පැතිර ගිය වෛරයට ප්‍රධානතම හේතුව ජනමාධ්‍ය බවය.
සම්පුර්ණ ඡායාරූප සටහන : ඔබට සතුටුයිද දැන් ? ඔවුන් අසා තිබුණා
වීඩියෝ : [Video] ” මැරයන්ට මුකුත් ගත්තේ නෑ, අපිට තමයි ගැහුවේ .. , ඒ සිද්ධි සේරම කරලා තමා කළේ” / පොලීසියෙනුත් හිටියා, එයාලා බලාගෙන හිටියා, අපිට කිව්වා ආරක්ෂා වෙන්න කියලා, හමුදාවෙනුත් කිව්වා ආරක්ෂා වෙන්න කියලා’
"ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක් අය අවතැන් වෙච්ච අය, සරණාගතයන් වෙච්ච අය, ඒ විදිහට ඉදලා අත්දැකීම් තියන අය, ඒ අය කිව්වා ඒ අයට වුවමනාවක් තියනවා කියලා, පිටරටවලින් ලංකාවට ආපු සරණාගතයන්ට උදව් වෙන්න. විශේෂයෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය නවාතැන් සහ වෙනත් පහසුකම් ලබා දෙන්න. ඒක ඒ අයගෙන් බොහොම පැහැදිලිව ප්‍රකාශ උනා"
ජුනි 20 වන දින ලෝකය පුරා ප්‍රජාව විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද වූ දිනය සමරනු ලබන අතර මේ වසරේදී ශ්‍රී ලංකාව තාවකාලිකව ආරක්ෂාව පතා රැදී සිටින සරණාගතභාවය මෙන්ම දේශපාලන රැකවරණය ලැබෙන තෙක් මෙරට රැදී සිටි පිරිස් වෙත පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදු වී තිබුණේ එවකට රට පුරා ව්‍යාප්තව පැවති මුස්ලිම් විරෝධයේම දිගුවක් ලෙසයි. ඒ වන විට රටවල් 15ක පමණ සරණාගතයන් 1691ක පිරිසක් ආරක්ෂාව පතා ලංකාවට පැමිණ සිටි අතර ඔවුහු තම තාවකාලික වාසස්ථාන වලින් පිටමන් කිරීම හේතුවෙන් දැඩි අපහසුතාවයට ලක්වීමට සිදුවිය.
ඒ සම්න්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන රුකී ප්‍රනාන්දු සමඟ විකල්ප කළ සාකච්ජාව : #WorldRefugeeDay ‘ලංකාවට පැමිණ සිටින සරණගාත ප්‍රජාව ප්‍රතික්ෂේප කරන එක ගැන අපි ලැජ්ජා විය යුතුයි, ඔවුන් අපි සුහද සිතින් පිළිගෙන ඔවුන්ට අවශ්‍ය සියලු උපාකරයන් කිරීම අපේ වගකීමක්’ [VIDEO]
හසලක, කොලොන්නාගොඩ පදිංචි, 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා නම් කාන්තාවක් අත්අඩංගුවට ගත් සිද්ධිය මෙරට තුළ තවත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. විශේෂයන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය හා බැඳී සමාජ වෙනස් වීම වල ප්‍රථිපල අතර ඉස්ලාම් විරෝධයත්, බෞද්ධ රාජ්‍ය බලය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙසත් මහියංගනය පොලීසිය විසින් බුදු දහමට අපහාසවන පරිදි ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇය ඇද සිටි ගවුමේ චිත්රණය කොට තිබුණා යනුවෙන් මෙම කාන්තාව සිරභාරයට ගන්නේ එලෙස ධර්ම චක්‍රයක් තම නිල ඇඳුමේම පළදින පොලිසිය විසිනි. කෙසේ නමුත් මේ සිදුවීමෙන් පසු දේශීය සහ ජාත්‍යන්තර වශයෙනුත් පෙන්වා දෙනු ලැබූවේ මෙය ධර්මචක්‍රයක රුවක් නොව, නැවක සුක්කානමක රුවක් බවයි. තත්ත්වය මෙසේ තිබිය දී වුවද මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා අත්අඩංගුවට ගෙන මේ වන විට බදුල්ල බන්ධනාගාරය වෙත යොමු කර තිබු අතර පසුව නඩු වාර දෙකකින් පසු ඇය අප මත නිදහස් කර තිබුණි. කෙසේ නමුත් මේ සිද්ධියට අදාළව පොලිසිය විසින් කරන ලද අනීතික ක්‍රියාදාමය හේතුවෙන් වූ අපකිර්තිය වළක්වා ගැනීමට ඔවුන් විසින් විවිධ ගොඩ වෙදකම් උපාය මාර්ග භාවිත කොට තිබුණි. කෙසේවෙතත් අදාළ සිද්ධිය හේතුවෙන් කාන්තාවගේ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
වීඩියෝ සටහන : ‘අපි වගේ අසරණ අයට මේ වගේ අසාධාරණකම් කරන්න එපා’ [‘ධර්මචක්රය’ නොහඳුනන පොලීසිය නිසා වේදනා විඳින ගැහැණියක්] VIDEO
විකල්ප (vikalpa.org) වෙබ් අඩවිය විසින් ජුලි මස 23 වන අගහරුවාදා සවස 4 සිට 6 දක්වා, කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල රැස්විම් ශාලාවේදී “ ICCPR සහ ප්රකාශනයේ නිදහස” මැයෙන් සංවාදයක් සංවිධානය කරන්නට සිදු වී තිබුණේ විශේෂයන්ම කළු ජූලියේ අඳුරු මතකයට වසර 36 ක් ගෙවෙන මොහොතක, ලේඛක ශක්තික සත්කුමාර ෆේස්බුක් හි පළ කරන ලද කෙටි කතාවක් හේතුවෙන් දවස් 114 ක් සිරගතව සිටින මොහොතක සහ පාස්කු ප්‍රහාරයෙන් තෙමසක් ඉකුත්ව ඇති මොහොතකය.1976 මාර්තු මස 23 වන දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව රාජ්‍ය පාර්ශවයක් වීමෙන්ද, 1980 වසරේ ජුනි 11 වන දින සිට ශ්‍රී ලංකාව ඒ සඳහා එකඟත්වය දීමෙන් පසු, මිට වසර 12 පෙර ශ්‍රී ලංකාව තුළ එහි ඇතුළත් යම් නීතින් දේශීය නීතියට අපරානුමත කිරීමෙන්ද පනතක් ලෙස සම්මත වේ. එනම් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත බවට එය පත් වේ.
සම්පුර්ණ සාකච්ජාවේ සජීව විකාශය සහ සාරාංශ සටහන : “කිසිදු රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා,අපිට ගැටලුවක් තියනවා අපේ ප්රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. අපේ ඇදුම පවා ප්රකාශනයක්”
ශක්තික සත්කුමාර ශ්‍රී ලංකාවේදී කෙටි කතාවක් ෆේස් බුක් (facebook) හි ලියා පළ කිරීම හේතූ කොට ගෙන සිරගත වූ පළමු පුරවැසියා ය.ශක්තික අත්අඩංගුවට ගැනෙන්නේ 2019 අප්‍රේල් මස 1 වන දිනය. ඒ 2019 වසරේ පෙබරවාරි මස දිනක, ඔහු විසින් “අර්ධ” නම් කෙටි කතාවක් ලියා තම ෆේස්බුක් ගිණුමේ පොස්ටුවක් ලෙස පළ කිරීම නිසාය. බෞද්ධ භික්ෂුවක සිට සිවුරු හැර යාමෙන් පසු, අදාළ කථකයා සහ ඔහු අළලා අවශේෂව ගොඩ නැගුනු චරිත හරහා, පවතින සමාජ යාථාර්තයන් සහ සමාජ කියවීම් නැවත ප්‍රබන්ධ ගත කොට මෙම කෙටි කතාව ඔහු විසින් ලියා තිබේ.
කෙසේ වෙතත් මෙම කෙටි කතාව හරහා, ශක්තික සත්කුමාර 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය පනතේ (3) (1) වගන්තිය යටතේ “වෙනස්කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම” සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය යටතේ “ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” යන අසාධාරණ චෝදනා නගමින් සිරභායට ගත් ශක්තිකට ඇප ලැබීමෙන් මාස 4 කට පසුවය. යුක්තිය, ප්රජාතන්ත්රවාදය සහ ප්රකාශනයේ නිදහස අගයන දහසක් ජනයාට යම් බලාපොරොත්තු දල්වමින් දින 126 ක් පුරා, එනම් මාස 4 කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින් අයුක්ති සහගත ලෙස සිර ගත කරන ලද ලේඛක ශක්තික සත්කුමාරට අගෝස්තු 5 වන දින අවසානයේදී ඇප ලබා දීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
සම්පුර්ණ සටහන : දවස් 126 ක්, මාස 4ක් ප්‍රමාද වූ යුක්තිය : කෙටි කතාවක් ලිවිම හේතුවෙන් අයුක්ති සහගත ලෙස සිරගත කොට සිටි පළමු ලාංකිකයා ලේඛක ශක්තික සත්කුමාරට ඇප
“හැම තැනටම මම පැමිණිලි කරලා තියනවා, කිසිම තැනකින් මට උත්තරයක් ලැබුනේ නෑ. මම දන්නවා මගේ පුතා ජීවතුන් අතර කියලා. මම දන්නවා එයා කවදා හරි මං ගාවට එයි කියලත්. -එම්. දේවේන්ද්‍රන්-
ශ්‍රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම විටම අතුරුදහන් වුවන් කෙරෙහි, ඔවුන්ගේ සමීපතමයන් කෙරෙහි තවමත් ඉටු නොවී පවතින යුක්තිය ඉටු කිරීමට බල කෙරෙන බොහෝ ක්‍රියාකාරීකත්වයන් සඳහා දායකත්වය දෙමින් සිටිමු.ඒ වෙනුවෙන් මහාපාරේ විදී දිගේ උගුර ලේ රහ වනතුරු කෑගසන තෙක් අවදි නොවන පාලකයන් සිටින රටක බලාපොරොත්තු බිඳ නොගෙන ඔවුන් සමඟ හඬ නැඟුවෙමු.
ඒ අනුව මෙවර අගෝස්තු 30 වන දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් හී ගොදුරුබවට පත් වුවන් අනුස්මරණය කිරිමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන් අතුරුදන් වූ දස දහසක් මිනිසුන්ගේ , ගැහැණුන්ගේ ජිවිත යාතාර්ථයන්, කර්කශ සත්‍යයන් මිනිසුන් හමුවේම සංවාදය පිණිස Vikalpa.org (වෙබ් අඩවිය) විසින් නිපදවන ලද “අප්පා அப்பா” සහ “I’m Sure, He will Return” නම් කෙටි වාර්තා චිත්‍රපට ද්විත්වය, “ප්‍රභාතය” මාධ්‍ය හා කලා සංවිධානයේ සංවිධාන ශක්තියෙන් සහ ආරාධනයෙන් මීගමුව ජනාවබෝධය කේන්ද්‍රයේදී ප්‍රථම වරට තිරගත විය.
සම්පුර්ණ සටහන : මිනිසුන්ට මිනිසුන් හදවතින් මුණගැසීම – “අප්පා அப்பா” සහ “ I’m Sure, He Will Return”